පොඩි කැස්සක්

මට නරක කැස්සක් හදිලා මාසයක් විතර ගියා ඒක හොඳකරගන්න.
ඒ දවස්වල වෙනදා නැති තරමට මම ප්‍රවේසම්වුනා - සමහර කෑම වර්ග නොකා, හවසට නෑම අත්හැරලා, රෑ බීර බීම සම්පූර්ණෙන්ම අතෑරලා... මගෙ එදිනෙදා ජීවිතේ පාලනේ කරේ කැස්ස. වෙනදා කිසිම වෙද උපදෙස් පිළිනොපදින, වෙද උපදෙස් වලට හිනා වෙන මට මේ ජීවිතේ අමාරුයි. විද්‍යාව මොකක් කීවත්, මගෙ යටි හිත මොක කීවත්, මම මගේ ජීවන රටාව වෙනස්කරා. ඇත්තටම මගෙ ශරීර සෞක්‍ය හොඳ අතට හැරෙන්න පටන්ගත්තා - හිත මොක කිව්වත්.
“ඕක නිව්මෝනියා වලට හැරෙන්ට පුළුවන් බාප්පු!”… මගෙ අයියගෙපුතා ශාන්ත එහෙම කිව්වේ දොස්තරයගෙ වචන කටපාඩමෙන් කියවනවා වගේ.
“අපෙ වයසට හැදුනොත් හැදෙන්නේ නිව්මෝනියා නෙවෙයි ඕල්ඩ් මෝනියා! නැත්තං ‘පුරාණ මෝනියා’”
ශාන්තට මගෙ වචන පුරුදුයි. ඒ වගේම මම දොස්තරගෙ වචන සම්පූර්ණෙන්ම ඉවත නොදමන බවත් දන්නවා.
“මොකවුනත් පරෙස්සන් වෙන එක හොඳයි… හැබයි මමත් විශ්වාස කරන්නෙ නෑ හවස බීර බීම නරකයි කියලා… බාප්පුට මතකයි නේ අර පරණ කවිය?
“ඔවු… ඔවු…. ඒ කාලේ ඔය කවිය කිව්වා තමා….හැබැයි නාකි වෙනකොට අපි ලෝකේ දකින්නේ වෙන විදිහකට… පොඩි කැස්සකින්වුනත් අපි ප්‍රවේසම් වෙන්න හිතෙනවා…”
“හෙට යමුද ආයෙත් අපෙ දොස්තරයා බලන්න?”
“මට බෑ!”
ශාන්ත හිනාවුනා.
“මං දන්නවා බාප්පු ඌ බලන්න යන්න තියෙන ‘අකැමැත්ත!’ පොර නරක නෑ… කැස්ස වැගේ ලෙඩ එක්ස්ප්ලේන් කරන්න මිනිහා දන්නවා. පෙති දීලා බේරෙන්න හදන දොස්තරයෙකුත් නෙවෙයි”
“නෑ ශාන්ත… තව දවස් කීපයක් බලමු… තැන්ක්යූ… මේක නිකන් පොඩි කැස්සක් -වැඩි අමාරුවක් නෑ…. හැබැයි දවස් කීපෙකට පස්සේ නිසා බීර එකක්නම් බොන්න හිතෙනවා…”
“හොඳ නෑ නේ බාප්පු… තව සතියකින් බොමු…”
“උඹත් දැන් වෙදකම් කරනවා වගේ! වැඩිහිටියෙක් යමක් ඉල්ලපුවම බාලයට දෙන්න පුළුවන් එකම උත්තරේ ‘රයිට්!’ කියන එක විතරයි… ‘ඇඟට හොඳ නෑ’ වගේ පන්ඩිත කතා බෑ!”
ශාන්ත හිනාවුනාට බීර ගෙනෙන්න පුටුවෙන් නැගිට්ටෙ නෑ. මටම නැගිටලා ෆ්රිජ් එකට යන්නයි සිද්ධවුනේ. ශාන්තත් මා පිටිපස්සෙන් කුස්සියට ආවට බීර එකක් ගත්තෙත් මගේ බීර එක ගැන මොකුත් කීවෙත් නෑ. බැල්කනියේ අපි දෙන්නා වාඩිවෙලා මම ‘චියර්ස්’ කිව්වට පස්සේ ශාන්ත කතා කළේ කල්පනාවෙන්.
“බාප්පුට රෑට කන්න මොකුත් ගෙනත් දෙන්නද? කැමති දෙයක්…”
“මට කෑම තියෙනවා ෆ්රිජ් එකේ. නාල ඉවරවෙලා රත් කරගන්නවා”
“… එතන තිබුන කෑමට මම ඔම්ලට් එකක් දාලා දෙන්නම්, බාප්පු නාන්න ගියාම”
අදහස නරක නෑ. මෙයාගෙ ඔම්ලට් නියමයි. අනික තුන්වෙනි වේලටත් එකට උයපු පරිප්පු/පතෝල/කංකුං සියයට සීයක් දියුණු කරගන්න පුළුවන් සයිඩ් එකෙන් ඔම්ලට් එකක් තිබුනොත්!
“…තැන්ක්යූ කොල්ලා - මේක ටක් ගාලා මේක බීලා නානවා!”
*****

ඇත්තටම රෑ කෑම හොඳයි - ඔම්ලට් එක නිසා කෑම ‘කනවට කනවා’ තත්වෙන් ඉහල ‘කන්න හිතෙන’ තත්වෙට ආවා. ශාන්ත කෑමට නැවතුනේ නැතිනිසා කෑමෙන් පස්සේ මම වැඩි වෙලාවක් ඇහැරලා හිටියෙත් නෑ. ඇඳේ ඉඳන් පොතක් කියවලා ලයිට් නිව්වේ දහයට විතර. මට හොඳට නින්ද ගියා, ‘බීර බීමේ ආදිනව’ බොරුකරමින්.
රෑ දෙකට විතර ටොයිලට් ගිහින් ඇඳේ වැතිරිලා ඇස් වහගෙන ඉන්න වෙලාවෙයි මට කැස්සක සද්දයක් ඇහුනේ. යට තට්ටුවෙන්.
තනියම ගෙදර ඉන්න මම දොරවල් වහලා අගුල් දාලා නිදාගන්න යන්නේ. මිනිහෙක් නෙවෙයි පුසෙකුටවත් ඇතුලට එන්න බැරි තරමට [පූසෙක් ආවොත් තියෙන දෙයක් කාලා මේසේ අස්සේ කැත කරලත් යන්නේ!]. හැබැයි කොහොම හරි පූසෙක් ඇතුලට ආවනම් උන්ට කැස්සක් වගේ සද්ද කරන්න පුළුවන්. විශේෂයෙන්ම රෑ මැද, නිදි මතේ ඉන්න වෙලාවේ. මම තව ටිකක් අහගෙන හිටියා යටින් සද්දයක් එයිද කියලා. මගෙ හිතේ කැළඹීම නිසාදෝ මටත් කැස්සක් ආවා. කීප සැරයක් කැහැලා, ඇඳලඟ තියෙන බෝතලෙන් වතුර ටිකකුත් බීලා ආයෙත් නිදන්න උත්සාහ කළා.
විනාඩි පහකට විතර පස්සේ ආයෙත් යට තට්ටුවෙන් කැස්සක සද්දයක් ආවා. ඉස්සර වෙලා සද්දේ වගේමයි නමුත් සම්පූර්ණෙන්ම ඇහැරිලා ඉන්න නිසාදෝ සද්දේ වඩාත් පැහැදිලියි - පූසෙක් වගේ නෙවෙයි; වෙන සතෙක් වගෙත් නෙවෙයි. කෙලින්ම මිනිස් කැස්සක්. ආයෙත් මගෙ කැස්සත් පටන්ගත්තා.
මම විනාඩි පහක් විතර දිගටම කැස්සා. පස්සේ අමාරුවෙන් ඇඳෙන් නැගිටලා, ලයිට් දාගෙන පරෙස්සමෙන් කාමරෙන් එලියට ආවා. කිසි සද්දයක් නෑ. පඩි පෙලේ ලයිට් දාලා මම හෙමින් හෙමින් යට තට්ටුවට බැස්සා. එතන සම්පුර්ර්ණෙන්ම අඳුරු නෑ - උඩ තට්ටුවෙයි පඩිපෙලෙයි ලයිට් වලින් එලිය වැටෙන නිසා. සද්දයක් නැතිවුනාට මගෙ පපුව ගැහෙන සද්දේ දැනෙනවා. ආයෙත් මගෙ කැස්ස වැඩිවුනා. කැහැ කැහැ ලයිට් සේරම දැම්මත් කිසිම මිනිහෙක්/පූසෙක්/කලවැද්දෙක් දකින්න නෑ. මගේම කැස්ස හැර වෙන කිසිම සද්දයක්වත් නෑ (ගඟෙන් එහා පැත්තේ යන වාහනේක සද්දයක් හැර).
ලයිට් සේරම නිමලා ආයෙත් ඇඳේ දිගාවෙනතුරුත් මගෙ කැස්ස නැවතුනේ නෑ.
හෙට ශාන්තට කතා කරලා අපෙ ‘ගංසභා’ දොස්තරයා හමුවෙන්න තීරණය කරගෙනයි මම ඇඳලඟ ලයිට් එක නිව්වේ.
*****

දොස්තරයගෙ බෙහෙත් වගේම කෑමෙන් බීමෙන් ප්‍රවේසම්වූ නිසා සතියකින් මගෙ කැස්ස සම්පූර්ණෙන්ම සනීපයි. ඒ ගැන කොතරම් සතුටක් දැනුනත් මම ශාන්තට බීර වීදුරුවක් දෙන්න පෙළඹුනේ කැස්ස නැතිවෙලා තවත් සතියකට පස්සේ.
“චියර්ස්! තැන්ක්යූ මාව බලාගත්තට… උඹ නාකි කාලේ මමත් උඹව බලාගන්නම්… මගෙ වයස එකසිය පනහට අඩුනම්!”
“චියර්ස් බාප්පු… අපෙ දොස්තරයා නරක නෑ නේද?”
“හ්ම්ම්… ඌ බලන්න ගියේ ඇයි කියලා මම තවම කිව්වෙ නෑ නේද?”
ශාන්ත මොකුත් නොකියා මම කතාව කියනතුරු බීර තොලගෑවා.
“මතකද ශාන්ත දවසක්… අපි දොස්තර බලන්න ගිය දවසට ඉස්සරවෙලා රෑ… මම බීර බිවා (කැහ කැහ) හැබැයි ශාන්ත බිව්වෙ නෑ? මට මාර ඔම්ලට් එකකුත් හදලා දුන්නා?”
මම බීර උගුරක් බිව්වා.
“එදා රෑ නිදාගෙන ඉන්නකොට මට ඇහුනා යට තට්ටුවේ කවුද මිනිහෙක් කහිනවා… සතෙක් නෙවෙයි - මිනිහෙක්”
මගෙ “වික්‍රමය” මම ශාන්තට විස්තර කළා.
“ඒකයි පහුවදා උදේම ශාන්තට කතා කරේ දොස්තරයා ලඟට යන්න…”
අපි දෙන්නා නිහඬව බීර තොලගෑවා.
“ශාන්ත…පුතා හොඳටම බයවුනා නේද මගෙ ලෙඩේ නිව්මෝනියා වලට හැරෙයි කියලා?”
“ඔවු බාප්පු එහෙම වෙන්න පුළුවන් කියලා මට හිතුනා”
“ඒකද මම නාන්න ගිය වෙලාවේ මගෙ ෆෝන් එකේ රිං ටෝන් එක වෙනස්කරේ මිනිස් කැස්සකට? ඊට පස්සේ පාන්දර දෙකටයි දෙකයි දහයටයි මට ටෙලිෆෝන් කරේ?”
“බාප්පු ඒක ආපහු වෙනස් කරාද?”
“නෑ බං - ඒ කැස්සට මම දැන් පුරුදුයි… තැන්ක්යූ වේවා